RSS Feed

Monthly Archives: අප්‍රේල් 2010

බලා නොසිටිමි ….

ඔබ එතැයි කියා සිතමින්

මඟ බැලිමි බොහෝ කල් මං

තරු එක්ක කථා කරමින්

සුභ සිහින පොදි  බැඳිමි මං

යලි  එතැයි කියා සිතමින්

මං බෝම පෙරුම් පිරුවත්

ආය එන්න බැහැයි කියමින්

ඔබ යන්න ගිහිං නොවැ දැන්

ඔබ යන්න ගිහිං වග නම්

මම දන්නෙම නැහැ එතකන්

මගේ සිහින කඩා ඉහිරන්

මඟ බලන්නේ නැහැ ආය නම්

හෙට එන්න හිතූවත් දැන්

පිලිගන්න බෑනෙ දැන්නම්

ඔබ යන්නම යන්න ඉතිං

මඟ බලා නොසිටිමි   මං…

Advertisements

ඈන් ආදරණීය ඈන්……

කලුවර  පිරුණු  කාමරයේ  තනියමම
දිව රෑ  සිරව ගතකල  ඒ  කාලයම
චෙස්නට් ගසත් නිල් අහසත් අත ළඟම
තනි රැක තිබුනු  බව දුටුවෙමි  හැමදාම
බොහො දුර ඇතැයි මා සිතු වේලා කුළුන
අත මායිමෙන් දිස්වුනි ඔබෙ  කවුළුවට
තත්පර කට්ට වටයක් යන  හැමවිටම
ඔබ එය ගණන් කරනට ඇති  හැමදාම
නිදහස පතා කිසිවක් කරනට  බැරිව
තම දිවි ගෙවන විට රහසේ  මුලු ලොවට
දිනපොත  ඔබට තනි රැකි බව ඒ දවස
මට   ඒ  රහස කිව්වේ අර නිල්  අහස
බොහො දුර ගෙවා ආවෙමි ඔබ දැක ගතිමි
දවසින් වරුවක්ම මා මෙහි සැරි සැරිමි
අත හැර යන්න බැරි ගතියක් මට  දැනුනි
යන්නට හැරෙමි ඉන්නට බැරි කම්  ඇතිමි
ඔබ හෙලු කඳුළු හැම තැන විසිරී තිබුනි
ඒ කඳුලින් මා නෙතු කඳුලින් පිරුනි
මම මගෙ කඳුළු කවි අකුරුව ඇමිනුවෙමි
මේ දුක් මතක අමතක වන්නට කලිනි
මේ ලෙස ලියමි ඔබෙ දින පොත සේ රකිමි….!

සුදුමල් පෙති මත …

සුදු මල් ඉහිරුණ මල් පාවඩ මත

ඔබත් එක්ක ගමනක් යන්න

එන්නට මට බැහැ සමාවෙන්න මට

තනිමඟ යන්නට වෙයි ඔබට

සුදුමල් පෙති පොඩි පරවී යනවිට

අමතක වෙයි ලොවටම ඔබව

මගේ හිතට නම් එහෙම වෙන්නෙ නැහැ

මතක තියෙයි ඔබ හැමදාම

සමුගෙන යන්නට මොහොතක් තියද්දි

මෙහෙම කියන්නම්  මම  ඔබට

කිසිදා නොදැන්වූ මගේ ආදරය

සුදු මල් පෙති මත ඇත ඔන්න..!

දයාබර ඩාලියා…..!!!!!

හිස වැසූ පර්දාව හිත නොවැසු හින්දා

තරු  දෙනෙත් පමණක්ම මඟ කියූ හින්දා

ඉරණමේ මඟ නොදැන හමුවූනු හින්දා

දෙසිත් යාවෙන තුරුම නොදැනූනි පෙරදා

මරණයේ සෙවනැල්ල  දොරකඩින් එබෙන බව

කියා ඔබ හැඬූ හැටි සිහිවෙනවා මට තාම

සොහොන්  බිම කඳුළු වල  තෙතමනය දැනිලා

සිහි කරමි ඒ දිනය කඳුළින්ම තෙමිලා

මඟ බලා සිටිමි මම ඔබ එයිද කියලා

පෙරදාක වාගේම මගෙ තනිය මකලා

නො එන බව නොදන්නා සේ සිටිමි  හඬලා

දැන් කුමක් කරන්නද ඔබ යන්න ගිහිල්ලා

ඉතින් මම සොයා එමි රාජීබ් කනත්තට

ඉටි පහන් දල්වවමි නික්ම යන්නට පළමු

සමාවක් නො ඉල්වමි වරදකුත් නැති බැවිනි

පතමි මම හැමදාම හමු වෙන්න කියලා

මේ සසරෙ මතුදාක මගෙ තනිය මකලා

උමං දුම්රිය පොලේ වාදකයා…!

සෑම උදයෙම නොවැරදී මම  බලා සිටියෙමි ඔබ දිහා

කවමදාකත් නිමාවක් නැති තරගයක ඔබ සැම දෙනා

වයන මුත් මම මගේ ගී ස්වර අසන්නට කෙනෙකුන් ඇතැයි

පමා වන්නට රසවිදින්නට වෙලාවක් නම් නැති හැඩයි

ජීවිතය නම් මහා තරගය ජයගන්න යැයි සිත සිතා

එකිනෙකා පරයමින් දිව යන ඔබ සැවොම දෙස බල  බලා

එක තැනක නැවතී වයමි මම බෝ දුකින් වුව සෑම දා

නැවතෙන්න හැකි නම් මඳක් ඔබ යන්න නැවතී සවන් දී

මා වයන මේ මෘදු ස්වරය ඔබෙ  සවන්  සනසයි  නොවැරදී…!!

සුභ අලුත් අවුරුද්දක් වේවා….!!!!

අවුරුදු උණුසුම ඇසට පෙනෙන මුත්

හිතට නොදැනේය කිසි සතුටක්

කොවුලන් අතු අග නැති අවුරුද්දක්

ගෙවන්න වේමැයි මෙදා සැරෙත්

කැවුම් කොකිස් අලුවා අරගෙන මට

නෑගම් යන්නට නැහැ කවුරුත්

කුමක් කරන්නද පියඹා එන්නට

අත්තටු අහිමිය මෙ මට ඉතින්

ඔංචිල්ලාවක් අවුරුදු උළෙලක්

කවදා දකින්නද අයෙත් ඉතින්

ඊලඟ වසරට පෙරුම් පුරමි මම

ගිය වසරෙත්  ‘හෙම කලා මෙ මම්

“මන්දාකිණියට”  එන යන සැමටම

බොහෝ දුර සිටන් පතමි මෙ මම්

අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න….!!!!!

නව  වසරෙත්  හමුවෙමු…!!! එහෙනම්..

මල් කෙමිය….!!!!

කාලයේ වෙනස පෙන්නා දෙමින්

හිම දියව ගිහින් දැන් මේ දෙසින්

කලු කබා දෙවුර නොදැරූ තුටින්

සමු දුනිමි ශීතලට ඉක්මනින්

වසන්තය අඬගසන පමාවෙන්

හිරු මුවා කරමි මම අත් දෙකෙන්

මල් කෙමිය දසත විසිරුන බැවින්

කුරුළු කිචි බිචි ඇසෙයි දොරකඩින්

පුංචි දළු අතු අගට කැන්දමින්

වසන්තෙට  පෙර ගමන් අරඹමින්

සිටින මේ දසත විසිරුනු දෙයින්

දැනෙයි මට අලුත් ලොව ඉක්මනින්

තුටින් පිලි ගනිමි මම් වෙනද මෙන්

වසන්තය අත ළඟයි ඔන්න දැන්..!!!