RSS Feed

Monthly Archives: මැයි 2010

අවසරද…..!!

දරාගනු බැරි දුකට තනිව හිඳ

හැමදාම හඬන අහස නුඹ

ඒ හඬන දුක් කඳුළු බර දරාගෙන

සදාකල් නිහඬවන පොළොව මම

දුක හිතෙන හැම විටම

නොනැවතී  මොහොතකුදු

හඬමින්ම රැලි ගසන පුංචි විල  නුඹ

එ විල් දිය මත පිපී රැලි  නැගෙන  හැමවිටම

තැවෙන සිත හංගාන පිපී මියෙමින් සිටින

පුංචි  රතු  නෙළුම   මම

සැඩ සුළං කුණාටුවේ

දිවි දියඹ මැද අතරමං වූ ඔරුව නුඹ

ගොඩබිමක් සොයා යන

ගමනකට අත් වැලක් සපයනා

රුවල  වෙන්නට ඉඩක්

දෙන්න පුළුවන්ද සැබැවින්ම  මට…..!

Advertisements

~~අහම්බෙන්~~

නව දලුලන අතු රිකිලි..

සේපාලිකා

මල් පාවඩය මත

පිණි බිංදු

පුංචි කුරුලු පැටියෙක්

අහම්බෙන් ඇවිත් අද

එලවන්නේ කෝම මම

ඉන්න කිව්වා ඔහොම

මොනවා වෙනවද  නේද?

සිනාවෙනු මැන ඉතිං….!!!!!!!

සැඟව ලොවටම රහසින්

වියූ කඳුළු වියමන් සිත රිදවු පැතුමන්

අතැර සිත් අහසින්

එන්න දැන්වත් ඉතිං ළඟින් ඉන්නම් මෙමං

සතුට ඇති බවවත්

නොදන්නා ලෙස දැන් කලක් ගතවී ඇතත්

ඔබ තාම කඳුළින්

රිදුනු සිත තිබුනත් හිතට ගෙන දිරියක්

ඇයි බැරිද සැබැවින්

පිසලන්න කදුළැල්

අතැර නොයමි මං සිනාවෙනු මැන ඉතිං…..!!

විජ්ජුලතාවනි මේඝවර්ණියනි….

දිය අඟලේ දිය කඳුළු සලනු ඇසුනා

ඇහැල මල් කිනිති සුසුමන් පා කෙරුවා

සිහගිරියම මගේ දෑසේ බොඳව ගියා

පිය ගැට පෙල මත කඳුලැලි විසිර ගියා

විජ්ජුලතාවනි මේඝ වර්ණියනි මොකද උනේ ඔබට

කහ සමනළයින් කුඹලුන් ලෙස අද ආවද ගල උඩට

ඝන්ඨාරයෙ හඬ තාම ඇහුනේ නැතිවත්

රහස දන්න නුඹ සසල වෙලා නේද

බඹරුන් කෝ අද තනියිද ඔබ සැමට

සෙබලුන් නැතිවම සටනට ගියොතින්

පැරදේ යැයි ඔබ සිතුවද සැබවින්ම

සටන අතහැරියේ ඒකද ඇත්තටම

ගල් අසුනේ සිට පියගැට පෙල බැසලා

කැටපත් පවුරේ සීගිරි ගී කියවා

බිතු සිතුවම් රූ ඇඟිලි තුඩින් අතගා

සුළං කපොල්ලෙන් කඳුලැලි විසි කරලා

සමුගෙන යන්නම් නො එන්න යලි කිසි දා….

රහසක්…

රූස්ස ගහ පාමුල

තණ කොළ පඳුරු අතර

සැඟව සිටි

එකම  එක  පුංචි   බිම්මල

පමණක් දැනන්  සිටි  රහස

උඩවැඩියා  මල

බොහෝමත් දුකින් බව

හැමදාම හඬන බව

කොහොම අත දිගු කරන්නද?? ඇය

බෙදා ගන්නට ඔහුගේ දුක් සිත….

එන්න බැරිවෙද යලිත්……

හමන මඳ නල  සමඟ එක්වී

පාව යන්නට සිතූ මගෙ සිත

නවතගන්නට හිතුවෙ නැහැ මම

මාත් දන්නෑ එයට හේතුව

එහෙම වූ පසු කුමක් කරමිද

මඟ බලාගෙන සිටිනු හැර මම

එලෙස ගිය මගෙ සිතත් අරගෙන

එන්න බැරිවෙද යලිත් ඔබ හට

ඉන්න පුළුවන් වේවි අපහට

පෙර පරිදි බෝ තුටින් එතකොට

ඔබ පමණක් දුටු මාවත් නොදුටුව මං…..

අතැඟිලි අල්ලා සිත තැවරූ සෙනෙහෙන්

සෙනෙහස හඳුනා සතුට ලදිමි ඔබගෙන්

ලඟම ඉදන් ඔබ හෙලන සුසුම් හඳුනන්

කඳුළු සැලිමි මම ඔබේ නෙතට රහසින්

ඔබෙ පිය ගැටෙනා හඬ හඳුනමි  මං දැන්

අතැඟිලි  බැඳුනේ පියගැට පෙල අසලින්

වාරු උනෙමි මම ඔබෙ දෑතට සෙනෙහෙන්

ගිලිහී යා දැයි නොදන්න මුත් එතෙකින්

සිත් අහසේ  මම  රටා ඇදිමි සැනෙකින්

පාට වලලු  පෙල  ඇඟි තුඩින් අතගා

තෝරාගමි මා  කල හැකි කිසිවක් නෑ

ඔබ පමණක් දුටු මාවත් නොදුටුව මා

රකින්න හැකි දැයි කියන්න බලන්න හිත රිදවාගන්නෑ…..