RSS Feed

Monthly Archives: ජූලි 2010

අමුත්තා

බලාන උන්නෙමි බොහෝ කලක සිට හමු වේයැයි

අහම්බෙකින් මෙන් සොයාන  ආවම  පුදුම තමයි

කියා ගන්න බැරි බොහෝම දේවල් තිබුනා සැබැයි

සැබෑවටම  මේ බලාන හිටි  මඟ කෙනා තමයි

ආව නිසා බොහො දුරක ඉදන් සිත සොයා සෙමින්

අසා සිටින්නම් කියනා දේවල් ළඟින් ඉදන්

දරාන ඉන්නම් හිතේ නැගෙන දුක කඳුළු තියන්

නොකියම යාවිද කියා සිතුනි මගේ සිතට උවම්

එහෙම ගියත් සිත තරහක් නම් නොනැගේය මගෙන්

යන්න ගියේ යලි එන්න නොවෙන්නට බැරිද සිතන්

පුරුදු පරිදි මඟ බලාන ඉන්නම්  තවත් කලක්

නොයාම ඉන්නට පුළුවන් නම් එය අගෙයි ගොඩක්

~විසිරුණු සිත~

වැදුනු පහරින් බිඳී විසිරුණු

මගේ හිතත් කැඩපතක් වාගෙයි

කෑලි එකිනෙක පුරුද්දා යලි

බොහෝ වෙහෙසින් අලවලා ඇති

එසේ ඇලවූ හැම කොටසකම

සිට යලිත් නුඹ සිනාවෙන හැටි

මගේ සිත මත පිනුම් ගසමින්

මටම යලි යලි රිදවනා හැටි

කවදාක හෝ යලිත් බිඳෙතැයි

බිය සැකක් සිත ළඟකවත් නැති

අරුම වෙනසට හේතු සොයමින්

කල්පනාවක මගේ සිත යලි

~අතීතයට ගමනක්~

සැදෑ ඉර ගල කන්ද මතු පිට

සොඳුරු සිතුවම් අඳින සවසක

එකින් එක වූ පහන් එළි වැට

දොරින් දොර හෙමි හෙමින් දැල්වෙන

කන්ද පසු කර ගලන ඇල්ලට

දිය බිඳින් කිසි අඩුවකුත් නැති

මලක පෙති මත හාදු තිය තිය

දවස අවසන් කරන බිඟු කැළ

ලන්ද අවසන ගලන මීදුම්

බිඳිති එක එක එකතු කරගෙන

හමන සුළඟට රහස් කියමින්

සෙමින් සැලෙනා නිල් ගොයම් පැල

වළාකුළු වුව ඈත අහසේ

නොබිදෙනා පොඩි භාවනාවක

පාලු මාවත තනි මඟක මම

අතීතෙට යන සොඳුරු ගමනක…!

~ගිම්හානයේ රැයක~

ගිම්හානයේ රැයක  සිහිනෙක

සොඳුරු මතකය වී ඇවිත්

තුමුල ගිරි හිස සෙමින් සිඹ සිඹ

සඳ හොරෙන් එබිකම් කරයි

කුමුදු කොඳ මල් සෙමින් පිබිදෙන

නිසල  රැය ගිම් නිවාලයි

සියපතක් මත විසිරි පිණි කැට

හෙමි හෙමින් රූරා වැටෙයි

විලේ දිය මත රිදී පැහැයෙන්

සඳේ කැල්මන් ඉරි අඳියි

සුමුදු සුදු මුදු සුළං රැළි විත්

අපට ඉඟි බිඟි කර නටයි

මගේ මතකය ඔබත් එක්කම

එකට අත් වැල බැඳ  හිඳියි

ඉතිං කොහොමද දුරස් වෙන්නේ

සිහින විල් තෙර ඔබ ළඟින්

ඔබ දන්නවද..? මාව මතකද..?

අතීතයේ එක දිනයක විදුලි අකුණු පිරි සවසක

සරසවියේ පටු පාරක අප තෙමුණා මහ වැස්සක

ඔබට මතකද..?

අති’නත ගෙන එක්ව යන්න හැමදාමත් ළඟින් ඉන්න

කවදාවත් සමුනොගන්න පිළිණ දුන්න ඒ දින ගැන

ඔබට මතකද..?

ජීවිතයම කතරක් කර ඔබ සමුගෙන ගිය පසුවත්

මගෙ  සිත කඳුළින් වැලපෙයි ඒ මතකය මා රිදවයි

ඔබ දන්නවද..?

ඔබට මතක නැති උනාට නොසැලී  සිත ළඟ තවමත්

ඒ සිහිනය මං ගාවම තියාන මඟ බලනා බව

ඔබ දන්නවද..?

කවදාවත් ඔබ නාවත් හැමදාමත් ඉස්සර වගෙ

මං තාමත් නොවෙනස් බව

ඔබ දන්නවද..?

මාව මතකද..?

~ළඟින් ඉන්නම්~

බොහෝදුර වුව ගතින්

සිතින් ළඟ නිසාවෙන්

තනිය මකමින් සිතින්

ළඟින් ඉන්නම් නිතින්

හැමදාම මම ඉතිං

දුකක් නොසිතන් යලිත්

ඔබ නොදනී…

ඔබ ඇවිත් යන  සැම විටකදිම

සිනාසී සමුදී තැවෙන්නම්

නොසිතාම යලි  හෙටත් එන්නැයි

සමුගන්න සැම විට කියන්නම්

නාවොතින් හෙම බැරි වෙලාවත්

හවස් වෙනකම් මඟ බලන්නම්

ඔබ නොදන්නා මගේ සෙනෙහස

මං ලඟම මම තියා ගන්නම්

පාව යන මේ සුමුදු  සුළඟට

මගේ රහස මම කියා ගන්නම්

කියා ගන්නට බැරි රහස් ටික

හදේ කුටියක සඟව ගන්නම්

ළඟට එන්නට බැරිම නම් ඔබ

දුරින්වත් මම තියා ගන්නම්

කවදාක හෝ ඔබ ලැබේ යැයි

බලාපොරොත්තු  රඳව ගන්නම්..!!