RSS Feed

Monthly Archives: සැප්තැම්බර් 2010

~නික්මගිය වසන්තය~

වසන්තය හෙමි හෙමින් නික්ම යයි
හරියටම ඔබ ගියා වගේමයි
තනිකමට සිත සෙමෙන් පුරුදු වෙයි
එකින් එක හැලී ගිය කොළමෙනැයි
කටුක සීතල හොරෙන් අඩි තබයි
කඳුලු නෙත තෙමන  සැම රැය වගෙයි
වසාලමි හද කවුළු දොර සෙමින්
මේ පාලු තනිකමම මට හොඳයි.

Advertisements

කිසිත් නැත

සුපුරුදු සමුගැනීමෙන් පසු
පසුව ලියන්නට
කිසිත් නැතැයි කියද්දිම
ලියන්නට සිතුනදේ
නොලියාම සිටි බව හැඟුනි
කියා එවන්නට පුලුවන්ද
නොලියා සිටි කාරණාව
ලියා නොඑවූ
හේතුවද සමඟින්ම

මතක සෙවනැළි

නැගී බැස යන මතක සෙවනැළි
තබා සිත මත නපුරු කඳුළැලි
සෑමදාකම ඇවිත් යලි යලි
නගනු ඇසුණද රුදුරු  මැසිවිලි
අසා වදනින් සුමුදු මුදු වැකි
තබා  මතකයෙ සොඳුරු සිතුවිලි
පසෙකලා සිත තිබු ළතැවිලි
එන්න දැන් අපි එක්ව යමු නිති…!

නොතේරුම

ඔබව නොදැකම බොහෝ දුර ගිය
මගේ සිත අද අතරමං
කඳුළු පමණක් ඔබේ නම ගෙන
මගේ තනියට ළඟින් මං
කුමක් කරමිද දුරක ගිය නුඹ
යලිත් එන්නෙත් නැතිම නම්
කවමදාවත් නොකරමි පෙම්
ආයෙමත් මම නම් ඉතිං.

සිරගතව

කවුළුවෙන් දුර ඈත
නිල් අහස පෙනෙන’මුදු
විදන්නට පියාපත් අකැප’යින්
නිදහස අහිමි වී
සිරගතවු කිරිල්ලිය කූඩුවක
නොලැබෙනා බව යලිදු ජීවිතය
දැන දැනම
නොසැලුනා සිතින් නම් කිසි විටෙක
අත පොවන මායිමෙන්
නැති දිනුම දැක
මියෙන්නට නොහැකියෙන්
දුක් ගත්තා මිස.

~සිතින් ඔබේ ළඟ~

සිතේ තනියට ඔබේ නෙතු අඟ
රැඳී දිදුලන කඳුළු බිඳු කැට
බොහෝ දුර වුව සිටින මා වෙත
අරගෙනා එන වදන් මිණි කැට

හොරෙන් හෙමිහිට මගේ සිත මත
අඳින ඉරි ගැන සිතා බැලු විට
නොපෙනෙනා ඔබ කැඩපතක ලෙස
මගේ අභියස අරුමයකි එය

දුරින් සිට වුව ඔබේ සිත ළඟ
ඔබේ තනියට රැඳී ඉන්නම්
සිතේ රැඳි දුක ඔබේ ළඟ හිඳ
නිහඬවම මම අසා ඉන්නම්

අතේ දුර ඔබ නැති වුවත් අපි
සිතින් එක ළඟ යැයි සිතාගෙන
කඳුළු පිසදා සිනාවෙමු දැන්
හඬන්නට බැහැ ආයෙ නම් නුඹ..!

මතක මං පෙත

මතක මන්දිර අතර සංහිඳ
කන්ද පාමුල  බලා හිඳිනෙමි
මතක සුවඳට ලොබ බැඳුනු සිත
අතීතය හා කථාවක පොඩි
මතක පිණි බිඳු පොකුරු අහුරම
තබා  මගෙ මේ සිත මතම නිති
වින්ද සෙනෙහස දුරක ගියමුත්
කඳුළු නම් තව මා ළඟම ඇති
මතක මං පෙත ඇවිද යන්නට
පෙර පුරුදු ලෙස සෙමින් වත් අපි
එන්න නෑවිත් යන්නේ කොහොමද
නවත ගන්නට හදන්නෑ යලි