RSS Feed

Monthly Archives: අප්‍රේල් 2011

~සයුර සේ නුඹ~

සුළඟ වෙත දුක් සුසුම් පා කර
වළාකුලු මත කඳුළු අතුරමි..
සඳ කැලුම් ගෙන මුව’ඟ තවරා
තරු දෙකක් ගෙන කනේ පළඳිමි..
උදා හිරු සේ සිනාසී මම
නුඹව පිලිගන්නටම සැරසෙමි..
පාට දේදුනු එළා මඟ දිග
සිනිඳු මල් පියවිලි සදන්නෙමි..
එන නො එන බව නොකියාම ගිය
නිසාවෙන් තව මඟ බලන්නෙමි..
එහෙම ආවත් ලඟ හිඳී දැයි
ඇත්තටම නම් තව නොදන්නෙමි..
සයුර සේ නුඹ නික්ම ගියහොත්
වෙරළ වාගෙම නිහඬ වෙන්නෙමි..

ඡායාරූපය ලබාදුන් මංජුට ස්තූතියි..!

මහා තනියක් මට දැනේ

දෙනෝ දාහක් තරු අතර වුව
මහා තනියක් මට දැනේ
කියා කිව්වලු සඳත් දවසක්
වළාකුලකට හඬමිනේ
සඳ නෙතිත්  ඒ වෙලාවේ ගැලු
කඳුළු මුතු පහුවද උදේ
වැටිලා තිබුනා ජනේලය ළඟ
පුංචි හිම කැට විලසිනේ.

යන්න යන්නෙමි…

උදා අසිරිය විඳිනු රිසියෙන්
සුපිපි සුදු අරලියා මලක්
හදිස්සියේ ආ නපුරු සුලඟක්
අනේ උදුරාගෙන ගිහිං..

බිම වැටී  පෙති විසිරිලා ගිය
එ මල වාගෙම වූ සිතක්
බිඳී විසිරුණු සිහින අභියස
මෙහෙම සිතුවලු දුක් සිතින්..

නෙත’ඟ කඳුළලි සැමට රහසින්
වලාකුළු  මත  රඳවලා
සිතේ සුසුමන් විසුරුවාලමි
සුළඟ ‘ආ’ ගන්නැයි කියා..

කාලයේ වැලි තලාවේ යට
මතක  පමණක් සඟවලා
නික්ම යන්නෙමි පුංචි තරුවක්
පහන ලෙස එහි රඳවලා..

~සඳු~

වළාකුලකට මුවාවූ තරු
සඳට  ඉඟිබිඟි කරයි රහසින්
නොදැක්කා සේ සඳත්  හෙමිහිට
සිනාවක් පා කලා සුළඟට

අහම්බෙන් ලද සිනා පොද ගෙන
අතේ ගුලි කරගෙනම හනිකට
කිසිත් නොදන්න ලෙසින් මදනල
විලේ දිය මත තබා ඇත එය.