Monthly Archives: අගෝස්තු 2010

~සැබෑව~

පිපි නෙළුම්  මල් වලට බඹරු එන්නැහැ කියා

නෙළුම් මල් කවදවත් පෙති නොවිදා ඉන්නවද

කළු වළාකුළු නිසා සඳ එළිය නොපෙනුනත්

සඳ කුමරි කවදවත් නෑවිදින් ඉන්නවද

හිරුට පෙම් බැඳි නමුත් කඩුපුලට කවදවත්

උදා හිරු දැකුමකට හැකි කමක් නෑ නේද

ගංදියේ පෙරළෙමින් කොයි තරම් සිනිඳු වුව

මලක පෙති පරදන්න කළු ගලට  බැහැ නේද

විලක දිය කොයි තරම් නිසසලව සිටියා වුව

මුහුද වෙත යන ගමන නැවැත්විය හැකිවෙයිද

මේ ගමන මා එක්ක යන්න කවුරුත් නැතත්

අතරමඟ නවතින්න ඉතිං මට  හැකි වේද

සිත්තම

වළා ඇස අස  රැඳී  නිතොරව

පැණ සරව දකිමින්ම ලෝකය

සිතැඟි  සිත්තම් කරන්නටවත්

ඉඩක් දෙනවද නපුරු ලෝකය

ඉරා කඩ තිර එක් නිමේෂෙක

පෙලා කඩ ඉම  තලා පොඩි සිත

හඬවනා කල  නිතොර සිතුවිලි

දේදුන්නකින් පාට අරගෙන

හොරෙන් රහසින් අඳිමි  සිත්තම

පාට බොඳවුව කමක් නැහැ එය

වටිනවා නොවැ පුංචි ලෝකෙට

කිරිල්ලියේ

උණුසුමම  පතා සිටි

සිත ළඟට

හැමදාම ලං උනේ

සීතලම සීතලට

ගල් ගැහුනු  හිම වගේ

කඳුළු කැට

කුමක් කරමිද ඊට

හිඳිමි මම

කිසිත් නොවුනා සේම

හඳුනාද නොදනීමි මගේ සිත

එන්නේද සැබැවින්ම

මා ළඟට

සතුට  බිංදුවක් හෝ තවරන්න

මඟ බලා ඉන්නෙමි  නිහඬවම..!!

~සුදු රෝස මල~

සිතේ සැඟවුනු පුංචි සමනල් සිහිනයම බොඳ වෙන්නැති

ඇගේ ඇසිපිය යටට ගුලිවූ කඳුළු වියලී  නොයන්නැති

ලියූ ලිපි වල අකුරු ඇදවී බිම වැටී පොඩි වෙන්නැති

ඇන්ද සිතුවම කුරුටු බලිවී විරූපිව රඟ දෙන්නැති

ගැසු පින්සල් පහර සෙලවී රතු  තිතක සැඟ වෙන්නැති

ඒ නමුදු ඔබ සිතම පිරවූ එඩිය බිඳ නොවැටෙන්නැති

පලා යන්නට බැරිව සැඟවුණු ඉරණමම හමු වෙන්නැති

තලා පොඩි කල  සුදු රෝස මල යලිදු හමු වෙන්නෙත් නැති

පයට පෑගී පොඩිව යන විට සිහින් කෙඳිරිලි නගන්නැති

ඔබ විසිරවූ සුදු රෝස පෙති මියුනිචය සොලවන්නැති

අකුරු අමුණන දැන උගත්කම පවක් බව දැන ඉන්නැති

එහෙම වූවත් නිහඬ වෙන්නට  ඔබේ සිත ඉඩ නොදෙන්නැති

හඬක් නොනඟා නිහඩවූ සිත් ඔබෙන් එළියක් ලබන්නැති

කවුළුවෙන් ඔබ විසුරුවාලු රෝස පෙති ඉකිබිඳින්නැති

අදත් ඒ බිම මහා වැසි මැද හමුවුනා ඔබ මට මෙසේ

වසාලු කවුළුවේ පිටු පස ඔබෙ සිනා හඬ මට ඇසේ