Monthly Archives: ජූලි 2011

මගේ සිහිනය තව ඇත…

කලා සපුරණ සඳ
සුදු වැලි අතුල මිදුලට
එබිකම් කරයි හවසට..
අමාවක දා අඳුර මකනට
කණමැදිරියන් රෑනක්
එළි බෙදයි  නොපැකිල..
සේපාලිකා ගස වට
තනිවට තනි රකින
කහ සමනළුන් රැල..
පිච්ච මල් ගාලම
සුදු පාට ඇඳගෙන
සුවඳ බෙදනවා උදයෙම..
නොනැවති ගලන  ඇල දොළ
කිංකිණි හඩින් රහසින
ගී කියනවා සැම විට..
ගී අසන මින් රළ
තබමින් පාද තාලෙට
මනහර රැඟුම් විල මත..
………………………….
අදට නවතිමි මෙතැනින
මගේ සිහිනය තව ඇත…

මතක විතරක් ඉතිරි වෙන හැටි…

අතීතයෙ එක් සොඳුරු දවසක
මගේ සිත ළඟ නුඹ සිටිය හැටි..
රෙබරෝසියා මල් වැස්ස මැද
හෙමි හෙමින් අපි ඇවිද ගිය හැටි..

හදිස්සියෙ ආ නපුරු සුළඟක්
අපව පසු කර හමා ගිය හැටි..
ඒ සුළඟ හා එක්ව එදවස
මා වෙතින් නුඹ නික්ම ගිය හැටි..

කාලයේ වැලි තලාවක් මැද
මසිත පමණක් තනිව ගිය හැටි..
මතක මං පෙත වසා දමමින්
අඳුරු තිර පට ඇඳී ගිය හැටි..

අහම්බෙන් මගෙ මතක අතරට
හදිස්සියෙ නුඹ ඇවිත් ගිය හැටි..
කොයි තරම් කල් බලා සිටියත්
ආයේ නම් නුඹ එන්නේ නැති හැටි..

~සිහින කැඩපත~

සිහින කැඩපත තුලින්
යලි යලිත් දකිනෙමි
තරු දෙනෙත මුවා කර
කඳුළු බිඳු පිසලමි..

සඳ කුමරි හෙමි හෙමින්
නිසොල්මනෙ නික්ම යන
සොඳුරු මුදු පාන්දර
තිගැස්සී අවදි වෙමි..

ඔබ තබා ගිය සිහින
තවම ඇතියෙන් මහද
විවරවූ දොර අඟුළු
යලි තදින් වසා ගමි..

හද කවුළු දොර අසල
ඉටි පහන් දල්වලා
සුළඟ යන අත බලා
සුසුම් පා කරලමි

පෙර’ඹරින් හිරු නැගෙන
තුරු සරා මතක’තර
රහස් සඟවමි උදේ
පිපුණු මල් පෙති අතර..

‎~දනුෂ්කා නිෂාදී කුලරත්නගේ කවියක් නිසා ලියවුනකි~