Monthly Archives: ඔක්තෝබර් 2021

ඔබ නැතිව ඔබ එක්ක සිහිනයක ඇවිද යමි…

පෙර දවස මඟ හැරුණු
සිහින වල සැරිසරමි..
අවදිවන අලුයමෙත්
ඔබේ උණුසුම සොයමි..
දුටු මතින් තිගැස්සෙන
ඇස් වලට පෙම් බඳිමි..
එකම එක හාදුවක්
සුසුම් සුළඟට මුදමි..

ළඟ නැතත් ලඟ ඉන්න
බවට සිත රවටගමි..
දුර ඈත මීදුමක
ඔබේ රුව යලි සොයමි..
ඉර බසින සැදෑවක
ඔබ ලඟින් හිඳ ගනිමි..
ඔබ නැතිව ඔබ එක්ක
සිහිනයක ඇවිද යමි…

නොකියාම ඔබ නික්ම ගිය දින..

අකුරු අමුණා වචන ගලපා
සිත් කවුළු දොර විවර කල විට ..
මොනවා හිතනවා ඇතිද හිතෙනවා
අතීතයෙ තිර විසුරුවන විට..

ඔබට අමතක
මටත් අමතක
දවස් තව ඇති
ගෙවුණු දින වල..
ඒත් එකමෙක දිනක් තියනවා
සිතෙන් අතුගා දමනු නොහැකිව..
දන්නවද ඒ කවදාද වග..?
.
.
.
අඬ ගසා වත් නොදුටුවාසේ
හිතේ මහ හිස් තැනක් තියමින්
නොකියාම ඔබ නික්ම ගිය දින..

ඔරලෝසුව..

නුඹ ගැන
වැඩි වැඩියෙන්
මතක් වෙන දවස්
දිග වැඩිද..
ඔරලෝසුවේ කටු

හෙමින් කැරකෙනවද?

ලෝකය හෙමින් කැරකෙන
දිගම දිග දවස් වල
නුඹ
වැඩි වැඩියෙන් මතක් වෙනවද?

තිගැස්සෙමි…

“ජීවිතය දරාසිටීමට නම්,
පමණට වැඩියෙන් මතක තබාගැනීම ඔබ කිසිසේත්ම නොකළ යුතුයි..

-ඇල්බෙයා කැමූ-

ඔව් ඇත්ත
‘ ඔබට මතක නැති
මට අමතක නැති ‘
අංශු මාත්‍ර මතක’තර
හෙමි හෙමින් ඇවිද යමි..
හඳුනනා මඟ ලකුණු
නොදුටුවා සේ සිටිමි
නාඳුනන මල් සුවඳකට
පුදුම වෙමි.
කණමැදිරි එලියටත් තිගැස්සෙමි…
අඳුරු සෙවණැලි’තර
අතරමං වෙමි…

මතක දොරගුළු දමමි..

සොඳුර නුඹ ගැන මතක සේරම
හදේ කුටියක සඟවමි..
ඔබේ මිරිවැඩි ලකුණු විතරක්
සෙමින් පිසදා හරිමි..

ඉතිං එහෙනම් නික්ම යන්නට
ඔබෙන් අවසර පතමි..
සොඳුරු හෝරා අඩක අයිතිය
ඔබෙ දෑත මත තියමි..

ගතින් වෙන්වී නික්ම යන විට
සිතින් අල්ලා ගනිමි..
අතින් අත අත් හැරුණු මොහොතට
මතක දොරගුළු දමමි..

විසල් ලොව…

ඔබ
ක්ෂුද්‍ර දේ අමතක කර
දිනපතා
ප්‍රසාරණය වන ලෝකයක..
මම
ඒ විසල් ලොව තුල
ක්ෂුද්‍ර ජීවියකුව
ක්ෂය වෙමින..

ඔබට මතකද අපි ගැන..?

පාලුවේ දවසරින සවසට

කාලයේ ඈත දිනයක ගෙවුන

මතක පෙරලා බලමි එකිනෙක

ඔබට මතකද අපි ගැන..?

සිහිනයක තවරලා ඒ මතක

කඳුලු සලකුණු තබමි සිත මත

අවදියෙන් දැයි සිතා ඔබ නෙත

සුසුම් පා කර හරිමි අහසට…

Love in the time of Corona

අතීතයට ….

ඔබ ගැන මතක
කාලච්ඡේද වලට බෙදා
සුරක්ෂිතව තබා ඇත..
වා අඟුළු යොදා ඇත.
මල් සුවඳකින් ,
ඡායා මාත්‍රයකින් වුව
කිසිදු වෙහෙසකින් තොරව
හඬ නොනගාම
විවර වේ
අතීතයට යන ඒ දොර..

පණිවිඩය ලැබුණා..

තුරු මුදුන් සිසාරා

ඇවිද ආ සුලඟ අත

නුඹ එවූ පණිවිඩය ලැබුණා..

අමතකව නැති බවත්

ඔබ ලියා තිබුණා..

ඇවිත් යා නොහැකියෙන්

ගොඩක් හිත රිදුනා..

සැඟවෙන..

නුඹ ,

මහ රැයක

සිහිනයක් දිග ඇවිත්

මට සිහින වලට සන් කරන

තිගැස්සී ඇහැරෙනා හැමවිටම

අත වනා සමුදෙන..

ඒ සැනෙන් සොයාගත නොහෙන

ලෙස කළු කුහරයක සැඟවෙන..